ජන රාශීන් විසුරුවා හැරීම සඳහා යොදාගත හැකි නව කිරණ අවියක් චීනය විසින් නිපදවා ඇතැයි වාර්තා වේ. WB-1 නම් මෙය පසුගිය මසදී චීනයේ ෂූහායිහි පැවති 2014 ගුවන් සංදර්ශනයේදී ප‍්‍රදර්ශනයට එක්කර තිබුණු බව පැවසේ.
මයික්‍රොවේවි උඳුනක ක‍්‍රියාකාරීත්වයට සමාන මෙය මිනිස් සමට එල්ලවූ විට මතුපිට සමෙන් යට ඇති මේදය සහ ජල අණුවල චලනය ඉහළ නංවන අතර එමගින් කිරණ ප‍්‍රහාරයට ලක්වන්නාට තම සිරුර ඇතුළින් ගිනිගන්නා ආකාරයක් දැනෙනු ඇත.කෙසේවෙතත් කිරණ ධාරාවෙන් ඉවත්වූ විගස වේදනාව පහව යන අතර මෙමගින් අපිචර්මයට බොහෝ පහතින් පිහිටා ඇති ස්නායු අන්තයන් හෝ රුධිර වාහිනී වලට හානියක් සිදුනොවනු ඇතැයි පැවසේ.WB-1 අවියේ සාමාන්‍ය පරාසය මීටර් 80ක් වන අතර එය කිලෝමීටරයක් දක්වා වැඩි කළ හැකි බව වාර්තා වේ.
චීන රජයට අයත් පොලි ගෲප් සමාගම මෙහි නිෂ්පාදකයා ලෙස සැලකේ.එම සමාගම පවසා ඇත්තේ නැගෙනහිර චීන මුහුද සහ දකුණු චීන මුහුදු කලාපයන්හි ආරක්‍ෂාව සහතික කිරීම සඳහා වන මරණීය නොවන අවියක් ලෙස මෙය වර්ධනය කෙරෙමින් ඇති බවයි.
මින් පෙර ඇමරිකාවද මීට සමාන ADS නම් අවියක් ඇෆ්ගන් සහ ඉරාක යුද්ධවලදී භාවිතා කළ අතර එය එල්ලවූ ප‍්‍රබල විරෝධතා මත අත්හැර දැමීමට ඔවුන්ට සිදුවිය. රුසියාවට මෙවැනි කිරණ අවියක් වර්ධනය කරමින් ඇතැයි 2012දී වාර්තාවූ නමුත් එහි මූලාදර්ශයක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.