7,110 Views
ඉන්දියානු තරගාවලියේදී ලැබූ අමිහිරි පරාජය මකා ගැනීමට හා සිදුවූ වැරදි හදාගැනීමට මෙම තරගාවලිය වැදගත් වන බවත්, එක් තරගාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු නොකරන ලෙසත් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පැවැසීය.
ඔහු මේ අදහස් පළ කළේ තරග හතකින් සමන්විත එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
"ඉන්දියානු තරගාවලියේදී අපි තුන් ඉරියව්වෙන්ම දුර්වලතා පෙන්නුවා. ඒත් ලෝක කුසලාන තරගාවලියට ආසන්න තිබියදී ඉන්දියාවේදී මේ ලැබූ අත්දැකීම අපට ඉදිරියේදී වැදගත් වේවි" යනුවෙන් පැවැසූ මැතිව්ස් "මේ තරගාවලියේදී මහේල ආරම්භක පිතිකරු ස්ථානයට යොදවාගැනීම පිළිබඳව මේ දක්වා අපි තීරණයකට ඇවිල්ලා නැහැ. ඒත් මේ තරගාවලියේදී බොහොමයක් ප්‍රශ්න නිරාකරණය කරගනිමින් නවසීලන්ත තරගාවලියට එක්වීමට බලාපොරොත්තු වෙනවා" යැයිද කීය.
ඉන්දියානු තරගාවලියට සහභාගි වුණේ සූදානමක් නොමැතිවද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් මැතිව්ස්, "ඉන්දීය සංචාරය අපිට හරියට සූදානම් වෙන්න බැරි වුණත්, ඉන්දියානු සංචාරයේදී ලැබූ පුහුණුව හා මේ දිනවලදී ලැබූ පුහුණුවත් සමඟ මේ තරගාවලියේදී අපට සාර්ථක වෙන්න පුළුවන් වේවි. ඒ වගේම අපි ඉන්දීය සංචාරයට සහභාගි වුණේ මාලිංග, සචිත්‍ර, රංගන නොමැතිවයි"
එංගලන්තයේදී පසුගිය මැයි මාසයේදී පැවැති එක්දින තරගාවලියේදී 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් බැවින් පළි ගැනීමේ අදහසක් හිතේ තියෙන බව එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් සිනාසෙමින් පැවැසීය.
"ශ්‍රී ලංකාවේ දේශගුණය අපට ටිකක් අමාරු බව අපි දන්නවා. ඒ වගේම කණ්ඩායමේ බොහෝ දෙනකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය. ඒත් අපේ පිතිකරුවන් අතුරින් ඉයන් බෙල්, බට්ලර්, හේල්ස්, ජෝ රූට් ඕනෑම තණතීරුවක දස්කම් දැක්විය හැකි පිතිකරුවන්. ඒක නිසා අපිට ලංකාවේ තණතීරු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ" යනුවෙන් පැවැසූ කුක් ලෝක කුසලාන තරගාවලියට පෙර තම කණ්ඩායම සහභාගි වන අවසන් තරගාවලිය මෙය නොවන බවත් ප්‍රකාශ කළේය.