පද්මාවතී චිත්‍රපටය කියන්නේ හැමදෙනාගේම අවධානයට ලක්වුණු චිත්‍රපටයක්
මෙහි රංගනයේ යෙදෙන සියලුම නළු නිලියන් අතිශය කාර්ය බහුලවීම නිසා ආතතියෙන් නොපෙළුණොත් තරමක පුදුමයක්.
අද ඔවුන්ට එතරම්ම වැඩ. වසරක් තිස්සේ රූගත වෙමින් තිබෙන සන්ජේලීලා ගේ ‘පද්මාවතී’ චිත්‍රපටයේත් එවැනි සංකීර්ණ, අභියෝගාත්මක චරිතයක් තිබෙනවා. ඒ, අලව්දීන් ඛිල්ජි නම් වූ චරිතයයි.
මේ චරිතය නිරූපණය කිරීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ රන්වීර් සිංට යි. අලවුදීන් වැනි ක්‍රෑර ගති ඇති පුද්ගලයෙකුගේ චරිතයට ආරූඪ වී රඟපෑ රන්වීර් ගේ මානසික තත්ත්වය ද වෙනස් වූ බවයි සමහරු පවසන්නේ. තමන්ට ලැබෙන කුමන චරිතයක් හෝ ගැඹුරින් අධ්‍යයනය කොට රඟපෑම රන්වීර්ගේ සිරිතක්.
ඔහු අලවුදීන් බිල්ජිගේ යථා ස්වරූපය හොඳින් විමසීමෙන් පසුවයි, ඒ චරිතය පණ ගන්වා ඇත්තේ. මේ හේතුවෙන් ඒ චරිතය රඟපෑමෙන් පසුව රන්වීර් ට යළි සැබෑ ජීවිතයට පිවිසෙන්නට අපහසු වෙලා. කාගේත් උපදෙස් අනුව ඔහුට මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන්නට සිදුවූ බවයි ආරංචිවල සඳහන් වන්නේ.
මුම්බායි නුවර රෝහලකට ඇතුළත් වූ රන්වීර් මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා තුනකදී සේවාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. මේ වනවිට රන්වීර්ගේ මානසික තත්ත්වය යහපත් වී තිබෙනවාලු. මෙවැනි අසීරු අවස්ථා පසු කරමින් නිර්මාණය වන ‘පද්මාවතී’, නොවැම්බර් 30 දා සිට තිරගත කිරීමට නියමිතයි.