ලංකාවේ ගොඩක් දෙනෙක් හින්දි චිත්‍රපටි ඒ වගේම හින්දි සින්දු වලට ගොඩක් ආසයිනේ. ඉතින් ෂා ගොසිප් තුළින් අද අපි ඒ ගැන කථා කරන්න හිතුවා.මේ කියන්න හදන්නේ 90 දශකයේ ගොඩාක් දෙනෙක් ආදරයෙන් වැලදගත්තු හින්දි සින්දු 12 ක් ගැන. දිලිප් කුමාර්, රාජ් කපූර්, දේව් ආනන්ද්, නර්ගීස්, වහීඩා රෙහ්මාන්, වෛජන්තිමාලා වගේ ඒ යුගයේ සුපිරි තරුවලට ලාංකිකයොත් ආකර්ශනය වෙලා තිබුනෙ අද කාලෙ වගේම තමයි.
ඒ අතීතයෙ ඉඳලම පරම්පරාවෙන් පරම්පරාවට හින්දි රසිකත්වයනම් අඩුවක් නැතුවම ඉදිරියට ආව. හින්දි සිනමාපට, හින්දි ගීතවලට අද තියෙන ඉල්ලුම අතීතයේ තිබුනට වඩා සෑහෙන ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනව.
මේව බොලිවුඩ්වල හැදුනු පොප් සින්දු. මේ ගීත සිනමාපට වෙනුවෙන් නිර්මාණය වූ ගීතම නෙමෙයි. නමුත් පැරණි සිනමා ගීත ප්‍රතිනිර්මාණය කිරීම්නම් මේව අතර නොතිබුනාම නෙමෙයි. මේ ගීත නිර්මාණය කරල තිබුනෙ වර්ණ පිරිච්ච ලස්සන මියුසික් වීඩියෝවකුත් එක්ක. ඒකටත් කතාවක් තියෙනව. වර්තමානයෙ බොලිවුඩ්වල සුපිරි තරුවෙලා ඉන්න ඇතැම් අයගෙ ආරම්භයත් මේ මියුසික් වීඩියෝ තමයි. හැබැයි මොනව උනත් දැන් තියෙන සමහර කුණුහරපවලට වඩානම් මේව ලස්සනයි.
මේ ගීත ඉතා විශාල ප්‍රමාණයක් තියෙන නිසා දහයක් දොළහක් තෝරගන්න එක ඉතාම අසීරුයි. ලංකාවෙ වැඩියෙන්ම ජනප්‍රියවුණු ගීත කිහිපයක් විතරක් අපි මේ විදිහට පෙළ ගැස්සුව.
01. Pankaj Udhas – Chandi Jaisa Rang
ලංකාවේ අතිශයින්ම ජනප්‍රියවුනු තවත් ගසල් ගීතයක්. පන්කජ් උදාස් ගායනා කරන මේ ගීතයත් ඇස් දෙක පියාගෙන කලබලයක් නැතුව දෙයියනේ කියල අහල රසවිඳින්න පුලුවන් ගීතයක්. මේ ආකෘතියේ ගීත විශාල ප්‍රමාණයක් මේ වකවානුවෙදි නිකුත් වෙනව. බොහොමයක් ගීත අහන්නත් ලස්සනයි, බලන් ඉන්නත් ලස්සනයි.
02. Shaan – Tanha Dil
අපේ භාෂාවෙන්ම කියනවනම් පට්ට සින්දුවක්, පට්ට මියුසික් වීඩියෝවක්. අපි හැමෝගෙම ජීවිත දිහා ආපහු හැරිල බලද්දි මෙහෙම කතා ගොඩක් ඇති. මඟහැරුණු දේවල් ඒ තරමටම ඇති. ඒක නිසාම මේ මියුසික් වීඩියෝව දකිද්දි පපුවටම වදින ගතියකුත් තියෙනව. ශාන්තනූ මුකර්ජී එහෙමත් නැත්නම් ශාන් කියන ගායකයව උස්සල තියපු Tanha Dil 2000 වර්ෂයෙදි ආපු ගීතයක්.
03. Falguni Pathak – Meri Chunar Udd Udd Jaye
ඔව් ඔව් මේ ඒ සින්දුව තමයි. අර පින්තූරෙන් බැහැල එන ගෑනු දැරිවි ඉන්න එක. මේකනම් අමතක වෙන්නෙ නැති ගීතයක්. ෆල්ගුනී පථක්ගෙ ජනප්‍රියම ගීතවලින් එකක්. ෆල්ගුනීගෙ ලස්සන ජනප්‍රිය ගීත සෑහෙන සංඛ්‍යාවක් තියෙනව. සේරම දාන්න ගියොත් මේක ලියන්න වෙන්නෙ ෆල්ගුනී පථක් ගැන තමයි. මේ ගීතය 2000 වසරේදී නිකුත්වූ ගීතයක්.
04. Asha Bhosle – Raat Shabnami (Jaanam Samjha Karo)
90 දශකයේ ඉතාම ජනප්‍රියත්වයට පත්වූ ගීතයක් තමයි මේ. මේ ගීතයත් ආශා බෝස්ලේගේ. 1997දි එළිදක්වපු Jaanam Samjha Karo ඇල්බම් එකේ තේමා ගීතය තමයි මේ ගීතය. සංගීතය ඩේවිඩ් ලෙස්ලි ලුවිස්. මියුසික් වීඩියෝවත් නරකම නෑ ඉතින්.
05. Jagjit Singh, Asha Bhosle, Lata Mangeshkar – Jab Samne Tum Aa Jate Ho
ඉන්දියාවෙ ගසල් රජු ජග්ජිත් සිං, ආශා බෝස්ලේ, ලතා මංගේෂ්කාර් එක්ව ගැයූ ඉතාම ලස්සන ගීතයක්. නම් තුන දැක්කට පස්සෙ ඉතින් තව මොනව කියන්නද? ආශා බෝස්ලේගේ ගීත ඇල්බමයක තමයි මේ ගීතය අඩංගු වෙන්නෙ. මියුසික් වීඩියෝවත් බෙහෙවින්ම ජනප්‍රිය වූවක්. සරාගී බව මිශ්‍ර වූ අහිංසක හැඟීමක් ඉස්මතුවෙන අමුතුම කතාවක් තමයි ඒකත්.
06. Alisha Chinai – Made In India
මේ තමයි නූතන ඉන්දියානු පොප් ගීතවල හැරවුම් ලක්ෂ්‍යය. 1995දි නිකුත්වුණු Made In India ඇල්බම් එක තමයි හින්දි චිත්‍රපට ගීත ඇල්බම්වලට සාපේක්ෂව සාර්ථක අලෙවියක් පෙන්නුම් කරපු පළමු ඉන්ඩිපොප් ගීත ඇල්බමය. අලීෂා චිනෝයි මේ ශානරයේ ආරම්භක චරිතයක් හැටියට සැලෙකෙන්නෙ මෙන්න මේ හේතු හින්ද. මේ ගීතය හින්ද ජනප්‍රියවුනු තව කෙනෙක් ඉන්නව. ඒ තමයි මියුසික් වීඩියෝවෙ රඟපෑ මිලින්ද් සෝමන්.
07. Vikas Bhalla – hai dhuan hai dhuan
මේ තියෙන්නෙ 90 දශකයේ සුපර් හිට් එකක්. ලංකාවෙ විතරක් නෙමෙයි ඉන්දියාවෙත්. ගායකයෙක් වගේම නළුවෙක් ලෙසත් සිනමාපට කිහිපයක ප්‍රධාන චරිත පවා නිරූපණය කළ විකාශ් භල්ලා 1997දි එළිදක්වපු Dhuan ඇල්බම් එකම හිට් එකක් වෙන්නෙ මෙන්න මේ ගීතය නිසා. කොටින්ම කිව්වොත් මනුස්සය ගොඩ ගියේ මේ ගීතයෙන්.
08. Yesudas – Chamak Cham Cham
ලංකාවෙ අතිශයින්ම ජනප්‍රියවුනු ගීතයක්. රූපවාහිනී මාධ්‍යයෙන් නිරන්තරයෙන්ම ප්‍රචාරය වූ ගීතයක්. මියුසික් වීඩියෝවෙ තියෙන කතාවත් ලස්සනයි. ලලිත් පණ්ඩිත් නිර්මාණය කරපු Sitaron Mein Tu Hi ඇල්බම් එකේ තමයි මේ ගීතය අඩංගු වෙන්නෙ. ගායනය කේ. ජේ. යේසුදාස්.
09. Jagjit Singh – Tera Chehra Hai Aaine Jaisa
මේ ලස්සන ගීතය ගායනා කරන්නෙ ඉන්දියාවෙ ගසල් රජු කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජග්ජීත් සිං. සුන්දර යුවතියක් හිටියත් ඒ කටහඬේ තියෙන ලස්සන සුනම්‍ය ලාලිත්‍ය හින්දම මියුසික් වීඩියෝවට වඩා ගීතය ඉස්මතු වෙලා දැනෙනව.
10. Aryans – Yeh Hawa Kehti Hai Kya
සුන්දර යුවතියක්. කඩවසම් කොල්ලෙක්. ලස්සන ගීතයක්. ආර්යන්ස් කියන්නෙ ත්‍රී පුද්ගල සංගීත කණ්ඩායමක්. මේ ගීතය ජනප්‍රිය වුණු කාලෙදිම මේගොල්ලන්ගෙ තව ගීත කිහිපයක්ම කරළියට ආව. නමුත් වැඩියෙන්ම ජනප්‍රියත්වයට පත්වෙන්නෙනම් 2006දි ආපු මේ ගීතය තමයි
11. Ustad Sultan Khan, Chitra – Piya Basanti
නිවී සැනසිල්ලෙ අහගෙන ඉන්න පුලුවන් ලස්සන ගීතයක්. අතීත ස්මරණයක ගැන ලස්සන මියුසික් වීඩියෝවක්. මේ ගීතය 2000 වර්ෂයේදි තමයි එළි දක්වන්නෙ. උස්තාද් සුල්තාන් ඛාන් සමඟ දකුණු ඉන්දියානු ගායිකා චිත්‍රා ගැයූ මේ ගීතයෙහි සංගීතය සන්දේශ් ෂාන්දිල්යාගෙන්. මේ ගීතයේ මියුසික් වීඩියෝවෙහි කතාවට දෙවෙනි කොටසකුත් පසුව නිර්මාණය වෙනව.
12. Sonu Nigam – Tu
සෝනු නිගම්. අම්මෝ ඉතින් නේද. ඇත්තටම මේ සින්දුව වැඩිපුරම ජනප්‍රිය වෙන්නෙ FM නාලිකාවලින්. ඒ දවස්වල නිතර දෙවේලෙ අහන්න ලැබුනු ගීතයක්. සෝනු නිගම්ගෙ Kismat ඇල්බම් එකේ තමයි මේ සින්දුව අඩංගු වෙලා තිබුනෙ. මියුසික් වීඩියෝ එකේනම් ලොකු දෙයක් නෑ. හැබැයි ඒ සේරටම හරියන්න බිපාෂා බාසු ඉන්නවනෙ.
ඇත්තටම මේ ගීත විශාල ප්‍රමාණයක් අතරින් මේ විදියට කිහිපයක් වෙන් කරල ගන්න හදන එක පිස්සු වැඩක්. තව මඟහැරුණු හොඳ ගීත ඕනෙතරම් ඇති. නමුත් මෙහි මූලික අරමුණ පැරණි මතකය ආවර්ජනය කිරීමක් පමණයි.