කැට ගැසීම
කැට ගැසිමේ පාරම්පරික ක්‍රමය
සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා අතර කැට ගැසීමට හිමිවන්නේ සුවිශේෂී තැනක්.ගෘහස්ථව මෙන්ම කැට ගැසීමටම වෙන් වූ කැට පොළකදී මෙම ක්‍රීඩාව සිදුකරනු ලබනවා.
මේ සඳහා යොදාගන්නේ මී හරක් අඟකින් සාදාගත් පැති 6කින් යුක්ත ඝනකයක්.එම ඝනකයේ 1 සිට 6 දක්වා හෝ 3,6,9,12,15,18 ආදී වශයෙන් තිත් හෝ රවුම්වලින් සලකුණු කර තිබෙනවා.කීපදෙනෙකුටම සහභාගි වියහැකි මෙම ක්‍රීඩාවේද, ආධාරකයකට හේත්තු කළ ලෑල්ලකට එක් එක්කෙනා යම් දුරකින් සිට කැටයෙන් ගැසීම සිදුකරනවා.එවිට වැඩිම අගයක් සලකුණු වන තැනැත්තා ජයග්‍රහනය කරනවා.නමුත් කීපදෙනෙකු වැඩිම සමාන අගයක් ලබාගත්විට ඒ කීපදෙනාම එකතු වී නැවත වටයක් කැට ගසා, එහිදී වැඩිම අගය ලබාගන්නා පුද්ගලයා ජයග්‍රහනය කරනවා.
බොහෝවිට මුදල් වෙනුවෙන් කරන ක්‍රීඩාවක් වන මෙය,භාණ්ඩ වෙනුවෙන් සිදුකරන අවස්ථාද තිබෙනවා.මෙම ක්‍රීඩාවේ තවත් විශේෂත්වයක් වන්නේ කැටගැසීමට සහභාගි නොවන, නරඹන අයට කැටගසන අය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට හැකිවීමයි.එහිදී "අය"ලෙස කියා ඉහළ අගයන්ට ඔට්ටු අල්ලන අතර 12,15,18 යන අගයන් එසේ ඉහළ අගයන් ලෙස සැලකෙනවා.3,6 සහ 9 අඩු අගයන්ය.එක් අයෙකුට ඕනෑම වාර ගණනක් ඔට්ටු ඇල්ලිය හැකියි.